Friday, November 20, 2009

දුර ගිය සෙනෙහස..

හීනෙන් හීනෙට ඇවිදින් හිත ළඟ
තවමත් නුඹ මාලිගා හදනවා
සුවඳින් ඉවකර ගත නොහෙනා සඳ
රෑ තරු මල් මට පාර කියනවා...
සමනල් සිතකින් මා වැදු සෙනෙහස
මිරිඟුව සේ දුර ඈතට යනවා
නුඹ අත අරගෙන ඒ දුර යන්නට
සමනළියේ මම පාර සොයනවා...

නෙත හිත දෙතොළඟ තැවරූ සුවඳින්
මල් වාරේ හදවත පිරුනා
අවාරයේ වැසි අනෝරාව යට
ඒ මල් පෙති ගැලවී වැටුණා...
තරු නෙත් කැල්මක දෙතොළඟ සුසුමක
සුවඳක් සේ සෙනෙහස බැඳුණා
පෙම් කළෙ මා මිස නුඹ නොවනා වග
වැටහෙන්නට කල්පය ගෙවුණා...

2009/01/01

සිහිනය....

දුර ඈත තාරුකා දිදිලෙනා විට සෑමදා
මැවුනා සොඳුරු සිත්තමක් මා හද පුරා
අරුත්බර කරන්නට ඒ සිතුවම දිවි පුරා
කෙදිනක හෝ හැකි යයි මට සිතුනි නිරතුරා...

සිහිනයේ ඇවිදින් තෙපළු ඒ පෙම් කතා
සැමඳා තිබෙන බව හැඟුනිමට දිවිතුරා
නමුත් ඒ සියළු දේ වැරදි යයි දැනුන දා
හදේ රැදි සිත්තමත් කඳුල සේ බොඳ වුනා...

2009/02/14